Comrade ranjidam! A god of love. 

ආදරයේ දෙවියෙකු වූ රංජිදම් සහෝදරයා!!!

Comrade ranjidam! A god of love.

ආදරයේ දෙවියෙකු වූ රංජිදම් සහෝදරයා!!!

මම ජවිපේ වැඩ කරලා නැහැ කිව්වොත් නිකන් ඒක අර ආරක්ෂාවට කියන දෙයක් වෙනවා. නමුත් ඇත්තටම මට ජවිපෙ වැඩ කරන්න ඉඩ දුන්නේ නැත්තේ ජවිපේ. ඒ මගේ ආදර සම්බන්ධතා සහ ඇල් කොහොල් වලට ඇති අධික ආදරය නිසායි. ඒකට එයාලා වග කිව යුතුයි. හැබැයි ඒ කාල අවකාශයේ දැන් මොකක්ද තත්ත්වය කියලා මම දන්නේ මේ සමාජ මාධ්‍ය හරහා සහ ඇහැව්වොත් විතරක් කතාකරන මිතුරන්ගෙන් පමණයි.‌ ඒත් මම සව්ඤ්ඤානිකයි කියලා මා හිතනවා.

මට දැන් දේශපාලනයක් නැහැ කියන්න බැහැ. දේශපාලනය කියන සම්මුතිය සමග ගුදයෙන් යන වාතයත් දේශපාලනිකයි තමා. ඒත් මම කතා කරන්නේ මේ දමා ඇති ග්‍රැපික් පොටෝව සම්බන්ධව. දකුනේ ලොකුවට සුදු ඇඳ් තාපසයෙක් වගේ ඉන්නේ රංජිදම් ගුණරත්නම්. ඒ නම ලියනකොටත් මට කඳුලු එනවා කියලා ‌ප්‍රේමලාල් සහ බන්ඩාර තෙන්නකෝන් සහෝ දන්නවා නියතයි. මොකද පුරා වසර දෙකක් අපි දෙන්නා හිටියේ මැගසින් බන්ධනාගාරයේ එක ළග රෙට්ටු දෙකක. රෙට්ටු කියන්නේ හිර ගෙදර භාෂාව. අවුල්නම් පැදුරු කියලා හිතා ගන්න. නමුත් මම ඒ කාලේ ගොඩක් පැති වලින් ජවිපෙට කිට්ටු වුනාට ඒ කාලේ එයාලගේ භාෂාවෙන්ම මම අපතයෙක්. නමුත් රංජිදම් කිසිදා මාව අපතයෙක් කළේ නැහැ. එයා මට සිගරට් බොන්න අවස්ථාව නොවේ මගේ දක්ෂතා අනුන්ට බෙදන්නත් අවස්තාව සලසල දුන්න. මේ සම්බන්ධව ශාක්ෂි වශයෙන් තාම නම ගිය චරිත තියනවා. ‌ප්‍රේමලාල් පතිරාජ පමණක් නොවේ ගෙවිඳු කුමාර තුංග, පුෂ්ප විතානගේ, අතුරලියේ රතන, කුවින්ටස් ප්‍රනාන්දු. බණ්ඩාර තෙන්නකෝන්,පීබී සහෝදරයා, ගාමිණී මුතුකුමාරණ , නිමල් කරුණාසිරි සහ පුෂ්පාලී රණසිංහ වගේ විශේෂිත චරිත මේ සම්බන්ධව දන්නවා.

පරවේණි කියන වේදිකා නාට්‍යයේ එකොළොස් වෙනි දර්ශනය රද්දොලුගමට ගෙනියන්න හදනකොටම ‌මට යන්න වුනේ මැගසින් බන්ධනාගාරයට. ඒ කතාව දිගයි. ඒ තත්ත්වය ගැන වෙනම ලියන්නම්. මොකද අද ජවිපේ නාමයෙන් මහා පොරවල් ලෙස පෙනී සිටින අය යාලුවෝ නිසා ඒකලාට යාලුකමත් තියාගෙන මැරෙන්න ගහන්න භාෂාවේ ආයුධ මා සතුව නොවේ කා සතුවවත් නැති හන්දා. එහෙම මැරෙන්න ගහන්න භාෂාවෙන් තොරව හැකි වුවත් ඒකට හදවත ඉඩ දෙන්නේ නැහැ. මතක තියාගත යුතු කාරණයක් කියන්නම්. ඒ ඉඩ දෙන්නේ නැත්තේ පුද්ගලිකව. පොදු සටනකට ඒවා අදාල වෙන්නේ නැහැ. මොකා කොහොම විග්‍රහ කළත් පොදු සටනකදි මිනිස්සු වෙනස්. ඒක හරියට අර සුර අසුර යුද්ධයේ මානසිකත්වය නැවත පහළ වෙනවා වගේ දෙයක්

ඉතින් මේ ඡායාරූපයේ ඉන්නේ ලොකුවට දකුනේ රංජිදම් ගුණරත්නම්. සුදු කමිසයක් ඇඳන්. වමේ ඉන්නේ කුමාර ගුණරත්නම් .මට නිකන් බලපු බැල්මටනම් හැඟී යන්නේ අයියා රංජිදම් අහිංසකයි. මල්ලි කුමාර ටිකක් වසයි වගේ. ඒ කියන්නේ රැඩිකල් වගේ කියලා. ඒ උනාට අයියාගේ රැඩිකල් කම ගැන පොතක් ලියලත් මදි. එකක් කිව්වොත් ‌මැගසිමේදි දේශපාලන වැඩ. අනිත් රැඳවියන් සමග දේශපාලන කටයුතු කරලා නිදහස් උන ගමන් රංජිදම් මා ගාවට එනවා. ඒ ආපුවාම ඔයා මල්ලිලා විතරක් නෙවේ පවුල ගැනම කතා කරනවා. කුමාර ගුණරත්නම් කතාකරන්නේ මොනවද කියලා මා දන්න විදිහට ඒ කාලේ එක පන්තියක් හරි ඔයාට කරපු ප්‍රේම ලාල් දන්නවා ඇති. මොකද මේ ලඟකදි ප්‍රේමලාව ඔයා කුරුණෑගලදි දැකලා ඇවිත් ආදරය බෙදා ගත් හැටි කිව්වා. මම නම් ඔයාව දැකලා තියෙන්නේ පොටෝ වලින් විතරයි. නමුත් අමතක කළ නොහැකි කාරණාවක් තියනවා රංජිදම් නිදහසේ ඉන්න වෙලාවෙදි ඔයා ගැන කියලා තියනවා. නමුත් ඔයාටත් වඩා නංගියෙක් ගැන කියපු දේවල් මගේ හදවතේ තියනවා. අම්මා ගැන නොවේ තාත්තටත් වඩා කෑගල්ලේ අල මහත්තය ගැන අපි දෙන්නා කතා කරපු දේ අනන්තයි. දැන් කුමාරට මතක් විය යුතුයි අල මහත්තයා ගැන. ඒ කියන්නේ ලංකාවේ අර්තාපල් වවන්න රිසිපිය හදපු කෙනා. ඒ ගැන කතා කරන්න කෑගල්ලෙන් 71 පසු බැහැපු ගුණවර්ධන සහෝදරයා සමග මා කතා කර තිබෙනවා. ඒක විශ්වාසෙට දුන්නේ ජවිපෙට ඒ කාලේ. මන්දා ඒක හරියට කරන්න ජවිපෙට මර්ධනයත් සමග බැරි වුනා . අල මහත්තයාගේ පුතා අල කරන් බව අපිට මාකට් ගියාම පේනවා.

මම ඔයාට කියන්නම් කුමාර. කෑගල්ලේ තිබ්බා කූල් ස්පොට් ඒකක්. ඒකේ වෙච්ච ලස්සන කතන්දර මට රංජිදම් කිව්වේ කවද හරි ලියන්න කියලා. දැන් මම ලියන්න පටන් ගත්තා. ඒත් කලාත්මකව නෙවේ අමු කලාත්මකව. මම ලිව්ව කැත කතුන්ගේ පතිවත සම්බන්ධ අධීක්ෂණ වාර්ථාවේ ගණිතයා ගැන ලියපු කොටසට ඔයාගේ අයියා හරි ආසයි. එයා ඒ කතාව ප්‍රේමලාල්ට කියලා කොපි කරවගෙන ‌හොරෙන් තැපෑලට දැම්මෙත් ඒ කූල් ස්පොට් එකටමයි. එයා කිව්වා ඒ කූල් ස්පොට් එකේ කෙනා විශ්වාසයි කියලා. එයා ඒ කතාව මල්ලිලාට හරි දෙයි කිව්වා. මම දන්නේ නැහැ ඔයාට හමුවුනාද? දැන් මා සංහිඳ මගින් ප්‍රකාශිත ඒක බැලුවද කියලවත් මා දන්නේ නැහැ. නමුත් එයා කිව්වා මතකයි කුමාර සිංදු කියන්න දක්ෂයි කියලා. ඒ කිවවේ අපි මැගසිම නෘත්‍යාගාරයක් කරපු අවස්ථාවක. පසු කාලයක ඒ යුගයේරංජිදම්ගේ පුංචි සගයෙක්වෙන අතුරලියේ රතනත් කිව්වා කුමාරයාට මාර විදිහට සිංදු කියන්න හැකියි කියලා. මේ නිසාම මම කුමාරගේ වැඩ සටහනක් බලන් හිටියා. මාධ්‍යවේදීන්ගේ විකාරය නිසා ඔබට එදානම් හරියට සිංදුවක් කියන්න බැරි වුනාද කියලත් හිතෙනවා. මොකද රංජිදම් අයියා සහ රතන හිමියන් කියන විදිහට ඔබ ලාංකේය ගිත ගායනයේ විශේෂිතයක්. කාරි නැහැ. ඒ සින්දු පැත්තකින් තියලා දැන් ගයන සින්දුව ගයන්න. ‌ඒකනේ අයියගෙත් බලාපොරොත්තුව. ඒක පැතුම මිසක් අන නොවේ. අනේ මන්ද රංජිදම්ගේ සමාජයට තිබ්බ ආදරය ගැන කියන්න මගේ ශබ්ද කෝෂයේ වචන නැහැ කොල්ලෝ.

ඔයා දන්නවාද එයාගේ අල්ලපු රෙට්ටුවේ හිටපු මම සිගරට් බොනවා. මම ජවිපේ හිතවතෙක් පමණයි. ඒත් මම මරණින් පසු දිව්‍ය ලෝකයට යනවාට වඩා ඒ හිරගෙදරට යන්න තාම ආසයි. මම අපතයෙක් උනත් පුදුම ආදරයක් ඒ රැඳවියන්ගෙන් ලැබුවා. මට නම් වශයෙන් එකිනෙකා ගැන ලියන්න ආසයි. ඒත් දිගයි. අනාගතයේ කවදා හරි දවසක දේශපාලකයෙක් උනත් රංජිදම් වගේ මානුෂීය යාලුවෙක් වශයෙන් හමුවුනොත් අඬ අඬා මම කතා කරන්නම්. වසර දෙකක් කියන්නේ පොඩි කාලයක් නොවේ. මේ කියන කතන්දර ඇත්ත කියන්න මම හෝඩුවාවක් දෙන්නම්. රංජිදම් පුද්ගලික ආදරය ප්‍රේමය ගැන කතා කළේ මා සමග විතරක් නොවෙන්න ඇති. ඒත් මම හිතන්නේ මා සමග පමණයි කියලයි. එයාගේ ආදර වන්තිය ඔයා දන්නවා කියලා මම දන්නවා. මොකද මාව හොයාගෙන එයා ගැන අහන්න එන්නේ අපේ මාලින්ද? මාලින්ද කියන්නේ ඉන්ගිරිසියත් වතුර වගේ පොරක්. ඒකා ගුණරත්නම්ලටත්ව වඩා එයාලාගේ අම්මට ආදරේ පේන ලිපි භාෂා දෙකෙන්ම පළ කරලා තිබ්බා මතකයි. නමුත් දැන් මට ගොඩ කාලෙකින් හමුවුනේ නැහැ. ඒකට මම අමනාප නැහැ. මොකද ලාංකේය දේශපාලන ව්‍යුහය වැඩ කරන්නේ එකිනෙකාව කොටවන්න. ඒත් ඒ් සත්‍ය ආදරය තාම තියනවා නියතයි. ඒක වෙනම නව කතාවකටත් වඩා චිත්‍රපටයක්. ඒත් මට සැකයක් තියනවා කුමාරයෝ නුඹ සිංදු කිව්වාට කලාව සම්බන්ධව රංජිදම් වගේ හෘදයාංගමද කියලා. හැබැයි එවා කරන්න හැකි සිනමාවෙන් පමණයි කියන ඒකාධිපති අදහසක මම ඉන්නවා. ඉතින් කවදා හරි ඒ 80 අපේ ජීවිත සිනමාවට ගත්තොත් කිසලොව්ස්කි ඉඩ මදි වෙයි. රෝමන් පොලොන්ස්කිව ඉසුරුමනියෙන් සීගිරිය හරහා 89 භීෂණයේ නොඇදුන නොලියවෙන සිතුවම් වලට එන්න වෙයි.

දන්නවාද ඔබේ අයියා දවසක් මැගසිමේදී කළ වැඩක්. හිරගෙදර සබන් මැගසින් සබන්. ඒක තමා ට්‍රේඩ් නේම්. ඒක හරි සැරයි. හිර ගෙදර වෙනම කිනිතුල්ලො වර්ගයක් එකල හිටියා. ඒකලාට හිරගෙදර නම කිචව්. ඒකලාව නැති වෙන්නත් එක්ක ඒ සබන් හදන අච්චු සහෝදරයෝ සැරට හදනවා. මටයි ලාල්ටයි ඇවිත් රංජිදම් කියනවා මේ සැර සබන් වලින් යන වායුවෙන් බැලුම් අරින්න හැකියි කියලා. අපි සබන් දාලා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පත්තර වලින් බැලුමක් හදලා බැනරයක් ගහලා ඒක උඩ අරින්න ට්‍රයි කරනවා. නමුත් ඒක අසාර්ථක වුනා. ඒ වගේම විමුක්ති ගී ප්‍රසංගයක් ඇතුලේ කරනවා. නාට්‍යත් කරනවා. මට බටනලාව සහ සර්පිනාව ඉයර් එකට ගහන්න හැකියි. එදා රංජිදම් මට කිව්වා විමුක්ති ගී ප්‍රසංගයක් අපි කරමු කියලා. ඒකේ බටනලාව ගහන්න මට කිව්වා. මම දන්නවා ඒ වෙනකොට බත්මුල් විතරක් නෙවේ අම්මලා ආදරියන්ගේ එක එක දේවල් අස්සේ කැමරා කෑලි හිරගෙදරට ඇවිත් කැමරා රෙඩි කියලා. මොකද මමයි ප්‍රේම ලාලුයි කැමරා නැතුව මැගසිමේ කැමරා හැදෑරුවා. ඉතින් අපිත් කැමරාවක් ඒ හුදකලාවට ආපුවාම අර ගෑනියෙක් නොදැකපු තවුසෙකුට ගෑනියෙක් දැක්කා කියන මනෝවිද්‍යාත්මක මාර කතා මතක් වෙනවා

මම බට නලාව ඇතුලේ වාදනය කරනවා. මට සර්පිනාව ගැන ඉගැන්නුව විමුකති ගී වල හිටපු ජා ඇල අයිවන් අයියා නොහොත් සහෝදරයා එලියට ගිය ගමන් මරා දාලා තිබ්බා. වැදගත්ම කාරණය එදා මා රංජිදම්ට කියනවා මා පක්ෂේ කෙනෙක් නෙවේ. මා හිතවතෙක්. මම අරක්කු බොනවා. සිගරට් බොනවා. බීඩි ලෝකල්ද බොනවා. මට පක්සෙට එන්න බැරිවුනේ ඒ නිසා බව සහ‌හෝදරයෝ දන්නවා. ඔයාලා‌ගේ රතුහමුදා කිට් ගහන්න ඔයාලගේ සදාචාරයෙන් මට ඉඩ නැහැ. මට ඒක නිසා ඒක කරන්න බැහැ කියලා. එදා දේශපාලන මණ්ඩලෙන් අස් වෙලා මැගසිමේ සිටි බණ්ඩාර තෙන්නේ සහෝදරයා මේකට ශාක්ෂි.

නමුත් රංජිදම් කියනවා මරු කතාවක්. පක්ෂ සාමාජිකත්වය කලාවට ඇවැසි නැහැ. ඔබ මොනවා කළත් අපි තීරණය කරලා තියනවා ඔබයි මේක කරන්න මෙතන ඉන්නේ. මොකද කියන්නේ කියලා. මම ආදරේද කියල මොනව හරි වචන වලින් ඇහැව්වා. අත මිරිකුවා මතකයි. ඒ කියන්නේ හරි සහෝදරයා කියන එකයි.

පසු දවසක මම රංජිදම්ට කියනවා සහෝදරයා ‌ඇල්කොහොල් ටිකක් බොන්න ආස හිතුනා කියලා.ඒ කාලේ ජවිපෙට ඒක කිව්වනම් කෙලින්ම එලවලා දානවා. නමුත්මු රංජිදනුත් ජවිපේ පොරක්. නිකන් පොරක් නොවේ අන්තරේ පොරක්. මම මේ කියන්නේ ජවිපේ වැඩ්ඩෙකුට. හිතා ගන්න ඒ දේශපාලනේ සහ සමාජ ඇසුරේ වෙනසක් නැති බව. ඒ කියන්නේ දයලෙක්තිකයේ උපරිමය. කෙලින්ම මට කියනවා මාරේ මේ අපිට දෙන මැගසින් පාන් වල ඊස්ට් වැඩී. අපි දෙන්නා ඊස්ට් ගැන සාකච්ඡා කරනවා. ඒයා කියනවා ඔයාට ගෙදරින් සීනි එනවානේ අපි ඒවා වතුරේ දිය කරලා පාන් කෑල්ලක් දෙකක් දාලා බලමු කෙලින්ම ඇල්කොහොල් අනිවා කියලා. අපි තුන්දෙනෙක් දාලා බැලුවා. දවස් දෙකයි වාට්ටුව පුරා රා ගඳයි. ඒ කාලේ ප්‍රවීණ නලුවෙක් වූ එකල ජ වි පේ සංවර්ධන සභා මන්ත්‍රී වරයෙක් වූ බුද්ධදාස විතානච්චිත් හිටියා. එයාගේ ඉව මුගටින්ටත් හපන්. කියන්න තියන දේ කෑ ගහලා තමා කියන්නේ. ඉතින් අපේ වඩිය මැගසින් ජනතාවට හංගන්න සිවිලිමට අරන් ගියා. සිවිලිමට නගින්න යනකොට රංජිදම් මට කියනවා මාරේ සහෝදරයා සිවිලිම උඩ කරන්ට් වයර් තියනවා. ඒ නිසා අත් දෙකටයි කකුල් වලටයි ෂොපින් බෑග් දාගෙන යන්න කියලා. අපි යනවා. ඒ ගියාම ඇති වුන පරවි ආදරය සහ දයලෙක්තිකය සහ සැබෑ නායකත්වයේ හෘර්දයාංගමය කියන්නේ කුමක් ද කියා මාරයා පසුව ලියන්නම්. නමුත් අපි දන්තාලේප ටියුබ් කොස්සට ගහලා දඟරයක් හදන් අරක්කු පෙරුවා. පළමු බින්දුව කටේ ගාලා පදම හරි නේද ඇහැව්වා. පසුව මාව පැත්තකට ඒක්කන් ගිහින් මගේ වයසෙම රංජිදම් නම් ඔහු කීවා මේ දේ මෙතන කරන එක වැරදි සහෝදරයා. අපේ පරීක්ෂණය හරි. අපිට කොතනත් ජීවත්වෙන්න හැකියි කියලා. ඒවා තමා මෝරාල් කියන්නේ.

පස්සේ දැන් වැඩ හරි. දැන් රංජිදම් මට කියනවා ඒ කාලේ ආපු වැදගත්ම පොතේ කොටස්. ඔයාලා හිතාගන්න මම පිස්සෙක් නොවී ඉන්න වේදනාව. අපි මේක පර්යේෂණය කරන්නේ ඒ කාලේ අපි දෙන්නගේ ඇසුරට වැදගත් වූ “පොත වෘකයන් අතර නග්නව” රංජිදම් ගුණරත්නම් ගැන මම වචනයක් කියන්නම්. ඒ සිපිරි ගෙයත් සොහොන් ගෙයත් සැබෑ දිව්‍යලෝකයක් කළ හැකියි, සිතා වැඩ කරපු මිනිහෙක්. මාරස කියන්නේ නැහැ ඒක මිත්‍යාවක් කියලා. මන්ද ඒක සැබෑවක් ස්ප්‍රිචුවල් කියන තාන්ත්‍රික තත්ත්වයක්. යාන්ත්‍රික භෞතිකවාදීන් හෙලා දකින මානසික විභේදනයේ තත්වයක්. රංජිදම්‌ ගුණරත්නම් තාම මගේ පපුවේ ජීවත් වෙනවා.

ඒ අවුරුදු දෙකට තව වෙනත් ආධ්‍යාත්මික කතාවක් මම එකතු කරනවා. එදා ජේ ආර් සිංහලයාව හිර කළේ මැගසිමේ කෝවිල පැත්තේ. දෙමලාව හිරකලේ පන්සල පැත්තේ. ඒ දෙක අතර ටකරන් වැටක් ගසා තිබුණා. අපි ඇතුලේ ඉඳන් සෝවියට් සංස්කෘතික කේන්ද්‍රයෙන් චිත්‍රපට ගෙන්වුවා. සමහර වෙලාවල් වලට රංජිදම් දෙමල හිර කරුවෝ සමග කතා කරනවා. ඉන්දුලංකා ගිවිසුමට ගත් අපට අඳින්න අපිව බලන්න අවසර දුන්නේ සති දෙකකට විතර පස්සේ. ඒ කාලේ ඒ එල් ටී ටී අය සමග කෑ ගහමින් ගණුදෙනු කලේ රංජිදම්. අන්තිමට අපිට වැටෙන් විසී කරපු දෙමල එකාලාගේ සරොන් තුවා ‌මාර දේශපාලනික ‌දෙවියන් මතක් කළා. කිසිදා අප දෙමලාවත් මොකාවත් වෙනස් විදිහට හිතන්නේ නැහැ. අද අප කවුරුත් හුදකළා වෙලා ඇති. නමුත් කිසිදා දෙමල සිංහල මගුලක් මාරසටනම් නැහැ. ඒ වගේ තව කට්ටියක් ඉනවා කියලා දන්න නිසයි මැරෙන්න කලින් මේ ටික ලියා තබන්නේ. මම දන්නනවා මා දන්න ගොඩක් දේවල් වලින් මේ ටිකවත් නොලිව්වොත් මා අපතයෙක් කියලා.

කොහොම හරි මම නිදහස් ‌වුනේ නිකන් නෙවේ. නඩු දාලා අපේ අම්මලා. නමුත් ඒ නිදහස් වුනාම මම ආවේ හිරගෙදරින් දෑසේ කඳුලු පුරෝගෙන. මේක ලියන්නත් අමාරු වෙන තරමට දෑසේ කඳුලු ගොඩයි. කඳුලු කියන්නේ ආදරයේ ප්‍රකාශනය වගේම විරෝදයේත්, වේදවේදනාවේත්.ප්‍රකාශනය. මගේ එකම පැතුම මරණයෙන් පසු දිව්‍ය ලෝකේ යන්න නෙවේ. එවන් සැබෑ මිනිසුන් ඉන්න හිර ගේයක් උනත් ඒකට යන්නයි.

ඉතින් රංජිදම්. මම මේව ලිව්වේ මල්ලීට මේව බලන්න දීම යුතුකමක් විදිහටම ඔයාගේ හදවත කවුරු කවුරුත් දැන ගත යුතු නිසා. ගොඩක් අය මාරෙව සලකන්නේ නොම්බර එකේ පාදඩයෙක් විදිහට වෙන්න පුළුවන්. ඒක මරු. ඒ පාදඩයත් සමග රංජිදම් ගුණරත්නම් නම් මාරයාව හැඬවූ මිනිසා හෘර්ද ශාක්ෂයෙන් කතා කළා. එකඟ විය නොහැකි චීනයේ ශිෂ්‍ය ඝාතනය සම්බන්ධව අපි දෙන්නගේ ප්‍රතිපක්ෂ අදහස් වගේ දේ පසුව ලියවෙිවි. නමුත් රංජීදම් ගුණරත්නම් කියන්නේ බෝධිසත්ව ආත්මයක් කියා ත්‍රාන්තිකවම කිව හැකි බව මාරයා ලියනවා. ඇත්තෙන්ම රංජිදම් සැබෑ නූතන විප්ලව වාදියෙක්. පශ්චාත් විප්ලව වාදී චරිත ඇරඹෙන්නේ රංජිදම්ගෙන් කියලයි මා හිතන්නේ.

මේ සියල්ල මැද්දෙන් රංජිදම්ගේ මල්ලී ගැන මේ මොහොතේ කතාවක් යනවා. ඒ බැසිල්ගේ මොකක්ද මගුලක් ගැන. මම ඒ ගැන ඇත්ත දන්නේ නැහැ. මම හිතනවා. ජාන විද්‍යාව සොයා නොගත්තත් දේශපාලන ආදරයේ ජාන ගැන. මල්ලිගේ දේශපාලනය ගැනත් අයියා හිටපු දේශපාලනය ගැනත් ගොඩක් ගැටලු මිනිස්සුන්ට ඇති. මර්ධනය කළ ප්‍රවනතාවයක ඒ වගේ දේ වලට ජනතාව සමාව දෙනවා අනිවා. කෝකටත් ජනතාව මේ මොහොතේ අවධියෙන්. පෙර පරංපරාවේ ශක්තිය නිසයි අද ජනතාව කෙලින් වැඩ කරන්නේ. පිස්සුනම් ‌කෙලින්න එපා කුමාර සහෝදරයා කියමින් මාරස නවතින්නම්.

කුසුමක් පොඩි කළත් කුසුමෙහි නියම ගතී

වෙනසක් නැතිව මද නල හා මුසුව එතී

දහසක් දෙනා සෙව්වත් ඔබෙ වැරදි පැතී

ඔබ යන ගමන නිසලව ඔබ යන්න නිතී

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s