“අමතක කළ නොහැකි ගාමිණී අයියා සහ කෞෂික් ගංගුලිගේ අපුර් පංචාලි චිත්‍රපටය”

Untitled-1

“අමතක කළ නොහැකි ගාමිණී අයියා සහ කෞෂික් ගංගුලිගේ අපුර් පංචාලි චිත්‍රපටය”
සත්‍යජිත් රායි සිය අම්මා සමග තාගෝර් තුමාගේ සරසවියට ගිය දවසෙදි සත්‍යජිත් රායිගේ සමරු පොතෙහි තාගෝර් ලියූ අනගි කවියක් පර්සි ජයමාන්නගේ ලිපියක තිබිලා මට මේ ළඟකදි කියවන්න ලැබුනා. ඒ කවිය මේකයි.

මා ලෝකය වටේ ගියා
දකින්නට ගංගාවල් ,කඳු පන්ති
මා වියදම් කළා ඒ සඳහා ලොකු මුදලක්
මා හුඟක් දුර ඇවිද්දා.
මා හැම දෙයක්ම දැක්කා
ඒත් මට අමතක වුනා
දකින්නට මගේ නිවස අසලම
පිටතින් ඇති පුංචි තණ තුඩක
දැවටුණු පිනි බිඳුවක අසිරිය
ඒ පිනිබිඳුව තුළින්
ඔබට දකින්නට පුලුවන්
ඔබ අවට ඇති විශ්වයම.

මම මේක කියවපු ගමන්ම අතීත මතක ගොන්නක් මට කරදර කරන්න පටන් ගත්තා. කාලයක් යම් හේතුවක් නිසා විරසක වෙලා හිටපු ගාමිණී අයියට මට කෝල් ඒකක් ගන්න හිතුනා. මොකද සත්‍යජිත් රායි සිහිවුන ගමන්ම මට “පාතර් පංචලි” මතකයට එනවා. ඊට පස්සේ ඉතින් “අපරාජිතෝ” සහ “ඔපූර් සංසාර්” මතකයට එන එක අනිවාර්යක්. රායිගේ ඔපූ ත්‍රිත්වය මතකයට නැගෙන හැම අවස්තාවකම මට ගාමිණී අයියා සිහිවීමත් අහම්බයක් නෙවේ. ගාමිණී අයියා කියන්නේ ගාමිණී වන්නිආරච්චිට. එයාව දන්න අය දන්නවා. සමහර විට එයා ගැන ලියනවාට එයා අකමැති වීමේ ඉඩ වැඩී. එහෙත් එයාගේ මතකයන් ලියන එක මම දකින්නෙ මගෙ ආශාවක් වගේම වගකිමක් කියලයි.

අපි කොච්චර කල් ඈතින් ඉදලා කතා කලත් ඉතා සුළු මොහොතකින් ආයේ නවත්තපු තැනින්ම පටන් ගන්නවා. සිනමාව ගැන කතා කරන්න තමා අපිදෙන්නා වැඩිම කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒ ඔස්සේ අපි අතීතයට යනවා. ඒක කිව්ව ගමන් සමහරක් අයට නොස්තැලිජියාව නැත්නම් අතීතකාම සංකල්ප සිහිවෙන්න පුළුවන්. නොස්තැලිජියාව නැමති සංකල්ප පද්ධතියට මට සම්පූර්ණයෙන් ඒකඟ විය නොහැකියි. ඒ ගැන සෙස්ස පස්සට තියමු. ගාමිණී අයියා සමග කතාකරන සෑම අවස්තාවකදිම මට අසනීප තත්ත්වයන් නිසා පහුගිය කාලයේ මග හැරුණ හෝ එයාට අලුත් විදිහකට වැදුණ නව සිනමා කෘතියක් හරහා වෙනම ලෝකෙක සමාධිගත වෙන්න සිද්ධවෙනවා. 2010 -2015 කියන්නෙ මධුලෝලත්වය නිසා මා දෙවැනි වතාවටත් මරණයෙන් නැගිටපු කාලයක්. ඉතින් මේ 2020 කොරෝනා නිරෝධායන නිමේෂයේ එදා මට මග හැරුණ චිත්‍රපට අන්තර් ජාලයෙන් නැරඹීමට මම තීරණය කරනවා. ඒ ගැන විමසීමට නියම සුදුස්සා ගාමිණී අයියා බව මා ජීවිතයෙන්ම දන්නවා. නමුත් ඒ ගැන විමසන්නටත් පෙර ක්වොසික් ගංගුලිගේ “ඔපූර් පංචාලි” චිත්‍රපටය ගැන ඔහු කියාගෙන කියාගෙන යන්න ගත්තා. වසර පනස් නවවයක් වූ මා සහ වයස හැට පහක් වූ ගාමිණී අයියා ඔපූ පංචාලි චිත්‍රපටයෙන් පටන් ගෙන ත්‍රීසම් සෙක්ස් වලින් ජයගත හැකි බෝධිසත්ව ගුණෝපේත ගතිගුණ ගැනද දොඩමලු වූ බවත් සටහන් කළ යුතුයි. ඉතින් “ඔපූර් පංචාලි” සම්බන්ධව සටහනක් ලිවිමට පෙර ගාමිණි අයියගේ මතකයන් ගැන යමක් සටහන් කළ යුතුයි. තවත් දෘෂ්ටිවාදයකට අනුව අයියා යන අනන්‍යතාවය නැතිව කතා කළ නොහැක්කේ ඇයි යන ප්‍රශ්නයක් සමහරුන්ට ඇති බව මා නොදන්නවා නොවේ. නොස්තැලිජියාව මෙන්ම ඒ අනන්‍යතාවය ගැන ඇති ජනප්‍රිය මතවාද මට අදාල නොවීමට හේතුව මේ සටහනට වැඩක් නැහැ. ඒ ගැන පසුව ලියවෙයි. මග හැරලා යාම අපේ පරපුරේ පුරුද්දක් නෙවේ.

ගාමිණී වන්නිආරච්චි සමග මා ඇසුර පටන් ගත්තේ 80 දශකයේ මුල් අවධියක. ‍‍‍‍‍ඒ කාලය මගේ ජීවිතයේ සුවිශේෂ හැරවුම් හන්දියක්. එතකොට මට වයස අවුරුදු දහනවයක් විතර ඇති. එයාට අවුරුදු විසි පහක් විය යුතුයි. ඒ මගේ ළදරු වලිප්පු කාලය. ඔලුවෙන් හිටගත්තු මිනිස්සුන්ව කකුල්දෙකෙන් හිටවන්න හදන කාලය. ගාමිනී අයිය තමා මට කෙලින්ම කියන්නේ ජගත් ඔයා අනිත් මිනිස්සුන්ව කකුල් දෙකෙන් හිටවන්න ඉස්සරලා ඔයා කකුල්දෙකෙන් හිටගෙන හිටියනම් තමා වඩා හොඳ කියලා. මගේ යකා ඇවිස්සෙනවා. එයා පෙනුමෙන් හරි අහිංසකයි. මම පටන් ගන්නවා එයාට හේතුවාදි විදිහකට පහර දීලා ඒයාගේ යකා අවුස්ස ගන්න. ටික ටික මට තේරෙන්න ගන්නවා මගේ යකා ඇවිස්සුනාට එයාගේ යකා මගේ යකාට බය නැහැ කියලා. ඒ අහිංසක කම ඇතුලේ මහා දැඩි මතවාදී මිනිහෙක්ව මට පේන්න ගන්නවා. ප්‍රධානම කාරණය එයා ඒ කාලේ කිසිම මාක්ස්වාදී කණ්ඩායමක මතවාදයක් නියෝජනය නොකිරීමයි. කොටින්ම එයා යූඑන්පී කාරයෙක්. එයා අදත් කියන්නේ බටහිර දර්ශනයට ගරු කරනවා වගේ මම මාක්ස්වාදයටත් ගරු කරනවා වුනාට ජවිපෙ වගේ බලවේග මම දකින්නේ ප්‍රතිගාමී බලවේග වශයෙන් කියලයි. ශ්‍රී ලාංකේය සියලු ජන බලවේග වලට ආමන්ත්‍රණය කළ හැකි එකම බලවේගය එජාපය කියලා එදා දාර්ශනිකව විග්‍රහ කල මම ඇසුරු කරපු එකම සහෘදයත් ඔහු පමණයි. ඉතින් එදා අපි දෙන්න පක්ෂ දේශපාලනය ගැන කතා කරපු හැම සාකච්ඡාවක්ම අවසාන වුනේ මම ඇස් රතු කරන්. මොකද මම එජාප පවුලක ඉපදුනාට ඒ වනවිට මම එජාප විරෝධී වාමාංශිකයෙක්. මම විප්ලවය ගැන නහර පුම්බන් කතා කරනකොට එයා සාන්තුවරයෙක් වගේ මා සමග සිනමාව ගැන කතා කරනවා. හැබැයි ඒ කතා ඇතුලේ දෙපැත්ත කැපෙන අදහසුත් නොතිබුනා නෙවේ. මටත් ඒ කාලේ සිනමාව ගැන තිබුනේ මාර උනන්දුවක්. අපි දෙන්න ඒ කාලේ දණ්ඩ චුම්බකයක උත්තර ධ්‍රැවයයි දක්ෂිණ ධ්‍රැවයයි වගේ. ඒකත්වයකුත් තියනවා. ඊට ප්‍රතිපක්ෂව ප්‍රතිවිරෝධයකුත් තියනවා. ඉතින් අපි ගැටුන වාර කාලයට සාපේක්ෂකව අනන්තයි. ජීවිතය සම්බන්ධව මම ඒ්කාලේ මගේ සියලු වේදනාවන් බෙදාගත්තේ එයා සමග. ඒ වගේම එදා අපි දෙන්නම පදිංචි වෙලා හිටියේ සොයිසා මහල් නිවාස වල. එයා M ඒකේ. ඊට ප්‍රතිපක්ෂව මම N එකේ. වෙලාවකට එයා අයියා කෙනෙක්. තවත් වෙලාවකට ගුරුවරයෙක්. තවත් වෙලාවකට තාත්තා කෙනෙක්. කිසිදා අමතක කළ නොහැකි සහෘදයෙක් උනත් මට කිසිදා අත්හැරීමට නොහැකි වූ ප්‍රතිවාදියාද එයා. ඒ ගැටුම මැද්දේ මට එයාව කළණ මිතුරෙක් බවට පත්වෙනවා. ඒත් මධුලෝලත්වයේ සුන්දරත්වය සොයා ගිය ගමනෙදි අපේ ගැටුම් උග්‍ර වූ අවස්තා එමටයි. ඒ හැම අවස්ථාවකදිම එයා මාව අතහරිනවා. ඉතින් මටත් ඉබේටම අතහැරෙනවා. ඒත් කාලයාගේ ඇවෑමෙන් නැවත අපි වෙන තැනකින් අල්ල ගන්නවා. ආකර්ශනය සහ විකර්ෂණය දණ්ඩ චුම්භකයක ගුණයක්. මේ ප්‍රතිවිරෝධයම වෙන්න ඇති අපි මිත්‍රත්වයේ සාරය ප්‍රතිපෝෂණය වෙන්න උදව්වක් වෙන්න ඇත්තේ.

Simon Nawagaththegama Sri Lankan Novelist Dramatist (1)

ඒ කාලේ සයිමන් නවගත්තේගම ජීවත් වුනේ සොයිසා මහල් වල B නිවාසයේ. උඩම තට්ටුවේ. ඒයා සංසාරණ්‍යයේ අසබඩ නිර්මාණ කෘතියේ පසු වදනේ ගාමිණී වන්නිආරච්චි ගැන සටහනක් තියනවා.
“ ගාමිණී(වන්නිආරච්චි) සතියේ සෑම දිනකම මා වාසය කරන නිවසේ ජනේලය පසුකර යයි.හැමදාම ඔහු ඉතාම සැහැල්ලු සන්සුන් ගමනින් ගමන් කරයි. කාර්යාල පාසැල් බස් අල්ලා ගැනීමට කඩිසරව දුවන හැම ගැහැණියකම මිනිසෙකුම ළමා ළපටියෙකුම ඔහු පසුපස දුවනු මට පෙනේ.බාලයෙහි සිට අද දක්වා දන්නා හඳුනන අතලගේ සර් මට සිහිවේ.කිසිම අවස්ථාවක හදිසයේ ඔහු ගමන් කරනවා මා දැක නැත.එසේ නමුදු ගාමිණී උදෑසන මුණගැසෙන සෑම විටකම නොවරදවාම එක ප්‍රශ්නයක් අසයි. කොහොමද නවකතාව තාම ලියල ඉවර නැතිද. මොකද පමාව.”
සයිමන් නවගත්තේගම
සංසාරණ්‍යය අසබඩ (1998 මුල් පිටපත- පසු වදන)

 

සංසාරණ්‍යය අසබඩ පොතේ පසුවදනේ ආලයේ විංඥානය ගැන සයිමන්ගේ ඒ පසුවදන මාර වැදගත්. සයිමන්ගේ ඒ සටහනින් මතුකරන සංකල්ප වල ගැඹුර නොදත් යම් කිසිවෙක් පසු ප්‍රකාශන වලදි ඒ පසුවදන අයින් කරලා තියනවා. ඒ සටහන යෝජිත කාලය ගැන සයිමන්ගේ වටිනා කියවීමක්. ඇත්තටම පසු මුද්‍රණ වලට ඒ පසුවදන අහිමි වීම කාලය ගැන පාඨකයට සයිමන් දෙන අත්වැල ගලවලා දැම්ම වගේ වැඩක්. ඇත්තටම ඒක අපරාධයක්. පිටු දාසයක විතර සයිමන්ගේ අත්වැල නැවත මුද්‍රණ වලදි කපලා දාන්න එපා කියලා වගකිව යුතු අයට බලකර සිටින බවත් සටහන් කළ යුතුයි. නිර්මාණ ශිල්පියා නැති යුගයක ඔහුගේ නිර්මාණ කුමන ආකාරයකින් හෝ කප්පාදුවට ලක්වෙනවා කියන්නේ අනාගත පාඨක පරපුරට කරන ‌ෙද්‍රෝහි කමක්.

1985 දී මා විසින් කළ පරවේණි නාට්‍යයට ගාමිණී අයියත් සැබෑ ශක්තියක් වෙනවා. එයා පරවේණි නාට්‍යයේ මංගල දර්ශනය නිමවී එහි සමරු පොතේ සමරු සටහනක් ලියනවා.

“පරවේණි මල් කැකුලකි පිපෙන්නට පෙරුම් පුරණ
පිපිය යුතුමය එය ලොව සුවඳවත් කරන්නට”

මේ සමහරු සටහන බලලා නාට්‍යට සම්බන්ධ පිරිස සතුටින් ඉපිල යනවා. ඒත් පසුකාලයක මම ජනතාවාදී කලාව ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වෙද්දි ගාමිණී අයියගේ තුන්කල් දකින නුවන ගැන පැහැදීමක් ඇති වෙනවා. මොකද පරවේනි මල් කැකුලක් කියනකොටම ඒක යටින් කියවෙනවා මල පරවෙනවා කියන සැබෑව. පරවේනිය මලක් කියලා ජනතාවාදී නිර්මාණ කෘතිවල තියන උද්දාමයේ මන්දායුෂ ගැන එයා එතනදි හීනියට අතුල් පහරක් ගහනවා. එයා ගාව තියනවා හොඳ පොත් එකතුවක්. ඒ වගේම සිනමා පුස්තකාලයකුත් තියනවා. ඒවා බලෙන් හදපුවා නෙවේ. වයසට සමගාමීව ජීවිතයත් සමග ගොඩනැගුන දේවල්. දවසක් මම අහනවා ගාමිණී අයියා මෙච්චර දේවල් හදාරලත් නිර්මාණයක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියා පලකරන්නැත්තේ ඇයි කියලා. එයා දුන්නේ තනි උත්තරයයි. එයා කියනවා මම රසිකයෙක් විතරයි කියලා. ඇත්තටම ලෝක සිනමාවේ ත්‍රිමාණ කියවීම් වලට ඔබ්බෙන් බහුමාණ කියවීම් තියනවා කියලා ඇගිල්ලෙන් ඇනලා මට ඒ කාලේ පෙන්නුවේ එයා. අසූව දශකයේ මුල නාට්‍ය චිත්‍රපට සහ කලා දේශපාලන සම්මන්ත්‍රණ වලින් එකක් හරි අපිට මග හැරුනනම් ඒ මගහැරුනේ එකම දවසේ දෙතැනක එවන් දේවල් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබුණනම් පමණයි. භීෂණය කාලෙත් අපි නාට්‍ය චිත්‍රපට රස විදින්න කොළඹ සංස්කෘතික කේන්ද්‍ර වලට ගියා. ඒ ගිය ගමන් වලදි සොයිසා මහල් වලින් තවත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක අපි බම්බලපිටියට එනකන් බස් එක ගන්න පයින් එන්නේ වෙන ක්‍රම නැතිව නෙවේ. ඒ කාල පරාසය තමා අපි එදින බලපු නිර්මාණය රසවිඳින්න පටන් ගන්න මොහොත. ප්ලැට්ස් කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් වුනාට අපට අනුව ඒක වෙනම සුන්දර සංස්කෘතික අවකාශයක්. අපි කොහොමත් රෑට කතාබහ කරන්න එකතු වෙනවා. කාලිදාස කිව්ව වගේ කාව්‍ය ශාස්ත්‍රයේ රස දැකලා අමෘතය දිව්‍ය ලෝකෙට පැනලා ගියා කියන කතාව ඇත්තක් කියලා අපිත් කොන්කිට් වනාන්තරයක ඉඳන් හදවතින්ම අත්දැකපු කට්ටියක්. ඒක වෙනම නිම නොවන නවකතාවක් වගේ දෙයක්.

මට මතකයි භීෂනය ආරම්භයේ අපි “Night Over Chile” චිත්‍රපටය බලන්න යනව. එදත් අපි සෝවියට් සංස්කෘතික මන්දිරයේ ඉඳන් පයින් බම්බල පිටියට එනවා. හැබැයි එදා කවුරුත් කතා කළේ නැහැ. අපි අතරේ එදා තිබුනේ පුදුමාකාර නිශ්ශබ්ද තාවයක්. අපි කිසිදෙයක් කතා කළේ නැති එකම සිනමා කෘතිය ඒක වෙන්නත් පුළුවන්. ඔව් ඊට පස්සේ ලංකාවට වෙන්නේ මොකක්ද කියන කතාව ගැන නයිට් ඕව චිලී අපට අංජනමක් වුනා. ඒ මානසිකත්වයෙන්ම 1987 ජූනි මැගසින් බන්ධනාගාරයේ සිරකරුවෙක් නොවන සිරකරුවෙක් බවට මට පත්වෙන්න සිද්ධ වෙනවා. බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ගෙදර එනකොට හරියටම බම්බලපිටියේ අපේ සුපුරුදු බස්නැවතුමේදිම මට ගාමිණි අයියව මුණගැහෙනවා. ඒත් ඈතින් ඉදන් අපි ඇස්වලින් කතා කළා විතරයි. කොහොම හරි සිරගත ජීවිතයෙන් මට අහිමිවුන දෙවසරක පමණ කලා නිර්මාන රස විඳීමේ ඇරියස් එක කවර් කරගන්න එයා මට දීපු සහය විශිෂ්ටයි. එදා යාවත්කාලීන වුනේ නැත්නම් මේව ලියන මාරේ වෙනස් මාරයෙක් වෙන්න හොඳටම ඉඩ තිබුනා. කොටින්ම මට මාව නැතිවෙන්න ඉඩ තිබ්බා. ඇත්තටම එහෙම ජීවත්වෙලා මොකටද.

මීට අමතරව විනෝද සවාරි සහ සහ පවුල් සම්බන්ධතා පිළිඹඳවත් අපි කටයුතු කළ ආකාරය වෙනම කලාවක්. ඒ හැමතැනකම අපි පිටිපස්සේ සිනමාව සජීවීව හොල්මන් කරනවා.

ඉතින් කොහොම හරි පැරණි වාද භේද අමතක කර නැවත ගාමිණී අයියා සමග දුරකතනයෙන් සම්බන්ධ වූ මොහොතේ බෙන්ගාල සිනමාවේ කෞෂික් ගංගුලි නැමති නව චිත්‍රපට අධ්‍යක්ෂක වරයාගේ “අපූර් පංචාලි” චිත්‍රපටය ගැන සම්බන්ධයක් හදාගන්න ගාමිණි මට සුපුරුදු සිනමා කපුකම කරනවා. ඔව් ඒක මගේ ඇරියස් ලිස්ට් ඒකට අයත් චිත්‍රපටයක්. මම කොරෝනා භීෂණ නිරෝධායන කාලයේ ඒ චිත්‍රපටයට දැහැන් ගතවෙනවා. ගංගුලි විසින් මේ චිත්‍රපටය කරන්නේ 2013දි. රායිගේ පාතර් පංචාලි නැමති සිනමා කාව්‍යයේ “අපූ” ලෙස චරිත නිරූපණය කළ ළමා නළුවා වන සුඛීර් බැනර්ජිගේ සැබෑ ජීවිත ගමන රායිගේ සිනමා ත්‍රිත්වයට සමගාමී වෙන ආකාරයේ අපූර්වත්වය ගීතයක් කරමින්. සියලු සිදුවීම් කාල වකවානු දෙකකින් ගංගුලි අපේ ජීවන ධාරිතාවය සුසර කරනවා. සැඟවී සිටි සුඛීර් බැනර්ජිගේ ජීවිතයත් සිනමා කවියක් බවට පත්කරනවා. මේ සිනමා පටයේ වර්තමාන ක්‍රියාව වර්ණ ගැන්වී ඇති අතර අතීත සිදුවීම් කළු සහ සුදු වර්ණයන්ගෙන් යුක්තයි. චිත්‍රපටය පුරාම සුඛීර්ගේ ජීවිතය සහ අපූ ත්‍රිත්වය අතර සමාන්තර රේඛා ගංගුලි අපේ හදවතේ සටහන් කරන්නේ අතීත වර්තමාන සමාන්තර රේකා වලට බලයකුත් දිසාවකුත් අනුගත කරමින්.
‍‍
චිත්‍රපටය ආරම්භ වන්නේ සිනමා ඇකඩමියක සිසුවෙකු වෙන අර්කා විසින් ජර්මනියේ කීර්තිමත් සම්මාන උලෙලකට සහභාගිවීමට ආරාධනයක් වන ලිපියක් ඔපූගේ ළමා කාලය නිරූපනය කළ බැනර්ජිට දෙන්න බැනර්ජිව සොයමින්. ඔන්න ගංගුලි සැඟවී සිටි ළමා නළුවෙකුගේ ජීවිතය ගැන සිනමා කවිය ගීතයක් අයුරින් ලියන්න පටන් ගන්නවා. ඔපූ නැමති සිනමා චරිතයත් ඔපූට රඟ පෑ අර්ධෙන්ඩු බැනර්ජිගේ ගේ ඇත්ත ජීවිත කතාවත් සිනමාත්මකව ඉදිරිපත් කිරීම ගැන හරියට කියාගන්න පුළුවන් වෙන්නෙත් සිනමාභාෂාවකින්ම තමා

ඔවුන් රායි විසින් චිත්‍රපටය නිර්මාණය කළ පැරණි ගරාවැටුන නිවාසයකට යන අවස්ථාව රායිව කියවපු රසිකයන්ගේ දෑස් තෙත් කරන්න පටන් ගන්නවා. තරුණ සිනමා සිසුවා වන අර්කා සිහිවටනයක් ලෙස ගරාවැටුන නිවසින් ගඩොලක් අරන් සිය ගමන් මල්ලට දාගන්න දර්ශනය අතීත කාමය නැමති උපැසින් පමණක් බැලිය නොහැකියි. රායිගේ සංකල්පීය සිනමා මහගෙදරක ගරා වැටුන ගඩොලක් නූතන පරපුරේ සිනමා සිසුවෙකු සිය ගමන්මල්ලේ තැන්පත් කරගන්නවා කියන කතන්දරයට මගේ ඇස්දෙක දෙවිදියකට කඳුළු සලන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ සිනමා සංස්කෘතියේ මුල්ගල නව පරපුර ආදරයෙන් හැදෑරීමට රක්ෂණය කරන මොහොත සිහිකරන්නක්. එක ඇසක් කඳුලින් තෙත් වෙන්නේ අපේ සිනමාවේ අතීතය අහිමි සිනමා සිසුවන් ගැන සිහිවීමෙන් උනත් අනික ඉන්දියානු සිනමාවේ සංස්කෘතික අඛණ්ඩත්වය ගැන නව පරපුරේ තියන බුද්ධිමය ආදරය සිහිවීමෙන්.

කොහොම උනත් අපූර් පංචාලී සිනමා කෘතිය ලාංකේය නව සිනමා පරපුරට කඳුලක් උනන්න තරම් වින්දනයක් සම්පූර්ණයෙන් ඇති කිරීමට සමත් විය හැකිද යන්න ඇත්තටම සැක සහිතයි. ඔවුන් මේ සිනමා කෘතියෙනුත් සබුද්ධික දැනුමක් ලබා ගනිවි. මොකද මා දකින විදිහට ලාංකේය සිනමාවේ සංස්කෘතික අඛණ්ඩත්වය අසූව දශකයේදි බිඳවැටෙනවා. කෙටියෙන් කියනවානම් අසූව දශකයේ සිනමාවේ නිර්මාණාත්මක මෙහෙවරක් කිරීමට හැකියාව ඇති කීප දෙනෙකුට පමණයි සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණය වන්න පුළුවන්වෙන්නේ. පැවතුනු දේශපාලනික ගැටුම්කාරී බව සහ මූල්‍ය පහසුකම් නොලැබීම නිසා සිනමාවේ අඛණ්ඩත්වය රැකගෙන නව ගමනකට පා තැබිය යුතු සැබෑ පිරිසක් අභිතාත්විකවාදී ලේඛකයන් බවටත් පශ්චාත් නූතන දේශපාලකයන් බවටත් පත්වුනා කියන එක ප්‍රසිද්ධ රහසක්. කොටින්ම සිනමාවේ අතීත සාරය නව රැල්ලට එකතු කිරීමට ජීවිතයෙන්ම පරිචය ඇති සැබෑ තරුණයන්ට සිනමාවේ අඛණ්ඩත්වය රැක ගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඉතින් මේ සිනමාව ගැන හැදෑරීමක් සහ ලාංකේය සිනමාවේ නව හෘද සාක්ෂියක් ඇති පිරිස තමන්ගේ සිනමා සිහින දේශපාලනයෙන් සහ සාහිත්‍යයෙන් සුසර කරන්නට පටන් ගත්තා. මේ තත්වයන් මත ලාංකේය මේ නිමේෂයේ බිහිවන සබුද්ධික සිනමා නිර්මාණ වලින් ජනිත විය යුතු කලාත්මක භාවිතාව‌ සම්පූර්ණයෙන්ම ප්‍රහෙලිකා බවට පත්වෙලා කිව්වත් වරදක් නැහැ. ඒ තුළිනුත් යම් යම් කලාත්මක ශානර බිහිවේවි. එහෙත් ඒ අසූව දශකයේ ඛණ්ඩනය ඛේදවාචකයක් බව අංගුලි අපූර් පංචාලිගේ නිර්මානයෙන් අපට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා වගේ හැඟීමකුත් ඇතිවෙනවා. තවත් පැත්තකින් අපේ නව පරපුරට ගාමිණී අයියලා වගේ පරපුරක් අහිමි වෙනවා. කොටින්ම අද පරපුරට බුද්ධිමය අයියලා මාමලා විය යුතු පරපුරේ දහස් ගානක් පසුගිය භීෂණ කාලයේ සහ සිවිල් යුද්ධයේදි අතුරුදහන් වූ බව සැබෑවක්. මරා දැම්ම කියන්නෙත් අතුරු දහන් කළා තමා. ඉතින් නව පරපුරේ කලාත්මක සිනමා භාවිතාව ගොඩ නැගෙන්නේ ඊට සාපේක්ෂකව වෙනත් ආකාරයකින් තමා. නමුත් එතන මැකිය නොහැකි කලු පැල්ලමක් තිබෙනවා. ඒක ජයගන්න කාලය ඔවුන්ගේ නිර්මාණ භාවිතාව තුළින්ම තීරනය කරාවි.

ඉතින් ගාමීණි අයියේ!
අයියා යන යෙදුමේ මගේ අනන්‍ය තාවය ඔබට පමණක්වත් තේරුනානම් මට ප්‍රමාණවත්.

ජගත් මාරසිංහ
29 03 2020

Soysapura Housing Scheme

One thought on ““අමතක කළ නොහැකි ගාමිණී අයියා සහ කෞෂික් ගංගුලිගේ අපුර් පංචාලි චිත්‍රපටය”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s