සර්ප සාහිත්‍යයේ ‌සෙනසුරු ඒරාෂ්ටකය

01

                         1999 අවසාන භාගයේ ලියන ලද “ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය ග්‍රන්ථයේ විසි දෙවැනි පිටුවේ -කතෘගේ වෙනත් කෘති වලට ඉදිරි කාලයේදී පිටු දෙකක්වත් ඇතුළු කිරීමට සිදුවන වගට ඉඟි කර තිබේ. අද වන විට කේ කේ සමන්ගේ වෙනත් කෘති සඳහන් කිරීම සඳහා පිටු තුනක ඉඩක්ද නොසෑහෙන තත්ත්වයක් ඇතිවී තිබීම දෛවයේ සරදමක් වැනිය. ඒ තත්ත්වයන් කේන්ද්‍ර සටහනක සටහන් වී ඇත්තේ එසේය”යන්නෙන් ලියා තිබෙන්නේ අනාවැකියක් මතු කිරීමේ විනෝදයකට නොව ජ්‍යෝතිෂය ඇසුරින් යමක් විග්‍රහ කරගන්නා ආකාරය තහවුරු කර පෙන්වීම සඳහාය. එලෙසම එම පිටුවේම පහලින් “වෘතීය ලියන්නෙකු වූ කල සමන් ලියාගෙන යන දේවලින් වැඩක් වීද, හෙට එසේ නොවන්නේද? යන ප්‍රශ්න දෙක අප හමුවේ තිබෙයි.” යනුවෙන්ද සටහන් කර තිබේ. සැබෑවටම අද වන විට  සමන් වෘතීය ලේඛකයෙකි. කතෘගේ වෙනත් කෘති ලැයිස්තුව  මුද්‍රණය කිරීම සඳහා මුද්‍රිත පිටු හතරකින් පවා නොහැකි වන තරමට ඔහු වෘත්තීය ලේඛකයකු වී තිබේ.  කුඹුරු කෙටීම ගොවිතැන හෝ වෙනත් රැකියාවක් කිරීමට තමන් නොදන්නා බවත් තමන් යහමින් දන්නා එකම කටයුත්ත නිර්මාණ කරණය බවත් ඔහු මේ ලඟකදී රූපවාහිනී වැඩසටහනක යම් ආවේගයකින් ප්‍රකාශ කළ ආකාරය මගේ මතකයට නැගේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු ක්‍රමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් රජයේ වැටුප් ලබන සේවකයින බවට පත් වූහ. පශ්චාත් නූතන තත්ත්වයන් මත ඊට අනුරූපව මෙන් ස්වේච්ඡා ස්වරූප ගත් බොහෝ ක්‍රියාවන් පුද්ගලික හෝ රාජ්‍ය වැටුප් තලයන් දක්වා විසංයෝජනය වූ නමුත් ලේඛකයන්ගේ තත්ත්වය තවමත් කණගාටුදායක බව පෙනේ. බොහෝමයක් ග්‍රන්ථ ප්‍රකාශකයෝ පවා සිය කීර්ති නාමය පවත්වාගෙන යන්නේ වෙනත් ව්‍යාපාර කටයුත්තකින් හරි හම්බ කරන්නා වූ මුදල් ආයෝජනය කරමිනි. මේ තත්ත්වය මත බොහෝ ග්‍රන්ථ ප්‍රකාශකයෝ වෙනත් ව්‍යාපාරයක අතිරික්ත ප්‍රාග්ධනයෙන් පොත් ප්‍රකාශනය නැමති සුදු අලියාව නඩත්තු කරන තත්ත්වයකට පත්වී තිබේ. යම් විචාර හෝ සමාජ දේශපාලනය සම්බන්ධව ස්වතන්ත්‍ර පොතක් ලියා ලේඛකයෙකු ප්‍රකාශකයෙක් සොයා යාමේදී බොහෝ ප්‍රකාශකයන් නහයෙන් අඬමින් අපි කරන්නේ ප්‍රබන්ධ සාහිත්‍ය පමණක් බව පවසයි. විචාර සාහිතයට ඉල්ලුමක් තිබෙන්නේද පරිවර්තන කෘති සඳහා පමණි. තම පොළවෙන් පැන නැගී ආ විචාර සාහිත්‍යකින් තොරව ස්වතන්ත්‍ර ප්‍රබන්ධ සාහිත්‍යයේ සංවර්ධනයක් කිසිදා දැකිය නොහැකි වග ඔවුන් නොදන්නවා නොවේ. සැබෑවනම් ඔවුන්ගේද අසරණ කමය. සුදු අලින් උඩ දැම්මාට නිර්මාණ සාහිත්‍යය සඳහා සැබෑ ග්‍රන්ථ නිශ්පාදන කර්මාන්තයක් තවමත් අපට උරුම වී නැත. ලේඛකයන් සඳහා ගෙවනු ලබන රජයේ ආධාර දීමේ ක්‍රම වේද පවා ක්‍රියාත්මක වන්නේ සාහිත්‍යය කලාව ගංවතුරකින් හෝ සුළි සුලඟකින් හදිසියේ අසරණ වී ඇති බව සලකා මෙන් බව පෙනේ. විවිධ ජාතිකත්ව කීපයක එකතුවක ජීවත් වන පුංචි කොදෙව්වක විවිධ  භාෂාවන් සහ විෂයන් පිළිබඳ බෙදී ගොස් ග්‍රන්ථ ප්‍රකාශනය සිදුවන වපරිසරයක සිහින කල්පිත සාහිත්‍ය වන් සාහිත්‍ය ශානරයකින් නිර්මාණකරණයේ ‌යෙදෙන ‌කේ ‌කේ සමන් කුමාර නම් ප්‍රවීන ලේඛකයා වෘතීය ලේකකයෙක් වූයේ කෙසේදැයි විමසීමෙන් තොරව ඔහුගේ කෘති විචාරය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව පෙනේ. මන්ද එවන් සාහිත්‍යය ශානරයක නිර්මාණ ශිල්පියෙකුට නව පාඨක ප්‍රජාවක්ද නිර්මාණය කර නඩත්තු කිරීමට සිදුවීම අනිවාර්යක් වන බැවිනි.

striya. view only pdfමේ මෑත කාලයේදී නොබෙල් ත්‍යාගය දිය යුත්තේ මටයි කියමින් ලෝක ධානපතියෙකු වන මයික්‍රො සොප්ට් සමාගමේ අධිපති  බිල් ග්‍රේට් පැවසූ බව මා කියවූ ලිපියක තිබිණි. ඒ අවස්ථාවේ මොන තරම් ලැජ්ජාවක් නැති මිනිසෙක්ද යන සිතිවිල්ලක් අප සිත් තුළ ඇතිවේ. සැබෑවටම ඔහු දානපතියෙකු ‌මෙන්ම ඩිජිටල් විද්‍යාඥයෙකි. නමුත් ඒවා ඔහුද ඇතුළත් ගෝළීය ප්‍රාග්ධනයට කිසිදු ආකාරයක ප්‍රශ්නයක් විය නොහැකිය. වෙළඳ පොලකට ප්‍රශ්න වන කිසිවක් වෙළඳ මාපියාවකට ප්‍රශ්න වීමේ හැකියාවක් ඇත්තේම නැත. මාධ්‍ය ප්‍රාග්ධනයේ දැනුවත්  සහ නොදැනුවත් අශ්ශීල කම් වලට එරෙහිව යම් නිර්මාණයක හිමිකරුවෙකුට තමන් වෙනුවෙන් පෙනීසිටීමට සිදුවීම මේ නිමේශයේ විලි ලැජ්ජාවට කරුණක් නොවන්නේ එබැවිනි. එය නව ලිබරල් යයි කියාගන්නා ආර්ථික ක්‍රමයේ යතුරු හිලෙන් බැලිය යුතු තත්ත්වයක් නොව වෙළඳ ප්‍රචාරණයේ සංඥාවාදයේ තවත් එක් විශ්මයජනක අශ්ශීල ක්‍රමවේදයක් පමණි. ඉතා ගරු ගාම්භීර ලෙස නමක් දිනා සිටින අප රටේ නව ගුරු පරපුරේ  ගුරු මහතුන්ට සිය ටියුෂන් කඩයේ මාකටින් සඳහා කියමින් ඩෙනිමක් ගසා තොප්පියක් දමා සෙක්සි කෙල්ලක් පැත්තෙන් හෝ අරමුණ වන පරිදි පයිල් කවරයේ පවා දැන්වීම් ගසා මමයි රජා මෙන් මමයි සර් කියා කියා බාල නළුවන් මෙන් සංඥා කිරීමට සිදුවී තිබෙන්නේ ඔවුන්ගේ අශ්ශීල කමටම විය නොහැකිය. මෙවන් අවස්ථා වලදී ටියුෂන් මුදලාලිටත් වඩා අශ්ශීල වන්නේ පාරිභෝගික සිසුන් සහ ඔවුන්ගේ වැදගත් දෙමව්පියන් බව පෙනේ. මේ තත්ත්වය අද වන විට සම්භාව්‍ය යැයි සම්මත සියලු ක්‍රියාවන්ට පොදු සාධකයක් වී තිබේ. පසුගිය කාලයේ පොත් පත් සඳහා පවත්වනු ලැබූ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන පසුබිම් කරගනිමින් කිසිදු හිරිකිතකින් තොරව සමහර ලේඛකයෝ සහ ප්‍රකාශකයෝ පොත පත විකුණා ගැනීමටත් වඩා බලයක් නිර්මාණය කර ගැනීම සඳහා බුද්ධිමය සමාජයකට නොගැලපෙන වෙළඳ උපායන් පවා ක්‍රියාත්මක කරන ලදී. සුපර් බොයිලර් කුකුල් මස් පළමු තොගය අවසානයි, අලුත් තොගය හෙට – බිව්ව ගමන් නාගසලං සුපර් වයින්  වැනි දැන්වීම් දමමින්  පාඨකයන්ට කළ අපහාස උපහාසද බොහෝය. සැබෑවටම ඒසේ සිදුවූයේ බුද්ධිමය වශයෙන් නව ලොවක් පතන කණ්ඩායම් තුළින්ම වීම ප්‍රබන්ධ සාහිත්‍යය ග්‍රන්ථ කර්මාන්තයේද අනාගතය පිළිබඳ අනාවැකියක් විය හැක. ඉතාමත් කෙටි කාලයකදී පොත් විශාල ප්‍රමාණයක් මිළදී ගන්නා පාඨකයන්ට ප්‍රකාශකයාගෙන් පොත් රාක්කයක්ද තව ටික කලකින් නොමිලේ ලැබීමට නියමිත බව පෙනේ. එමෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයටද පොත් මිලදී ගත හැකි වැඩ පිළිවලකට හිඟමනට වැටෙමින් පවතින බැංකු කරුවෝ දායක වනු ඇත.මේ තත්ත්වය යටතේ මිත්‍යාව විද්‍යාගාරයට මාරුවී ඇති බව නොදත් සාහිත්‍ය විචාරකයෝ තත්ත්වය උඩු යටිකුරු කරමින් කම්පාවට පත්වීමටද නියමිතය. මේවා පැවසීමට ජ්‍යොතිෂයේ පැවැත්මේ අඩලයේ අනුමාන අවශ්‍යය නැත. අපේ තරුණ කාලයේදී සමාජ දේශපාලන ක්‍රියාකාරී පාහරයන්ගේ ක්‍රියාවන්ගෙන් වටහා ගත් දේශපාලන කුපාඩිකම් සම්බන්ධ අත්දැකීම් හොඳටෝම ප්‍රමාණවත්ය.

මෙවන් තරඟ කාරී පසුබිමක් මත නිර්මාණකරණයෙන් ජීවිතය ගැ‌ට ගසා ගන්නා කේ කේ සමන් කුමාර පොත් පත් ලියා ගේම් ගසා ඉන්න හිටින්නට කාඹරයක්වත් මේ වනතෙක් ගොඩ නගාගෙන නැත. කුලී ගෙයක තනිකඩව බොහෝ විට තමා විසින්ම උයා පිහා ගත් දෙයක් බුදිමින් එයත් කලාවක් සේ දකිමින් ලියමින් ඔහු ජීවත් වේ. 80 දශකයේ මුල විප්ලවවාදී කොමිනියුස්ට් සංගමයේ හෑන්ඩ්බිල්,  පත්තර දෑතින්ම ගෙන දෙපා වාරුවෙන් ස්ටැලින්වාදය  පරාජය කිරීම සඳහා ඇවිද ගිය ආකාරයටම තවමත් ඔහුගේ ගමන බිමන පවා ජීවන රටාව මහා වෙනසකට බඳුන් වී නැත. එහෙත් කලාව ගැන කතා කරන්නට පටන් ගත් විට දත් තිස් එකම  එළිියට දමා නිරාමිස හිනාවක් දමමින් කියවන්නට පටන් ගනී. ඒ අතර අහිංසකයෙක් චණ්ඩි වදන් තදින් කියවන විට අපට ඇති වන්නේ සිනහවක් නොව ආදරයකි. ඇතැම් විට ඔබ විසින් මා සමන් කුමාරගේ පක්ෂපාතිකයෙකුයි සිතන්නට ඉඩ තිබේ. එය නිවැරදිය. මා ළබඳ සබඳ මිතුරන්ට පක්ෂපාතී වන වග සැබෑවකි. නමුත් කිසිදා මිතුරෙකුගේ පමණක් නොව තමන්ගේ නිර්මාණයකට පවා කොන්දේසි විරහිතව පක්ෂපාතී වීම කිසිදා කළ නොහැක්කකි. කේ කේ සමන්ගේ පසු කාලයේ බිහිවූ සමහර දැඩි සබුද්ධික නිර්මාණ කීපයකට මගේ කිසිදු කැමැත්තක් නැති බවද සටහන් කළ යුතුය. සිහින කල්පිත හෝ අධිතාත්විකවාදී සාහිත්‍ය ශානරයක පය ගසාගෙන පාඨකයන් පවා නිර්මාණය කරගනිමින් ජීවත් වීම සඳහා වෘත්තීය ලේඛකයෙකු වූ විට සිය නිර්මාණ සබුද්ධික වීම සහ අති සබුද්ධික වීම සමන්ගෙන් පමණක් සිදුවන්නක් නොවන බව පෙනේ. පශ්චාත් නූතන යුගයේදි සබුද්ධික නිර්මාණ බිහිවීම අරුමයක් නොවන නමුත් ඒ සඳහා ගෝචර විචාර කලාවක්ද බිහිවීම අනිවාර්යෙන් සිදුවිය යුත්තකි. එහෙත් නිර්මාණ විචාරයේද ඒකාධීකාරී දේශපාලන බල අරගලයක්  යටි තලයේ ඇති බැවින් එය සිදුවන්නේද අංග විකල ආකාරයකට බව පැහැදිලිය. මේ තත්ත්වය හැදෑරීමක් නැති දේශපාලන ඉවක් නැති බලය පමණක් අරමුණු කරගත් නව කලාකාරයන්ගේ පින බවට පත් වී තිබේ.  

               2000 මැයි 26 දින මානව භාෂා පර්යේෂණ සංචිතය යැයි නාමික කණ්ඩායමක ඉදිරිපත් කිරීමක් ලෙස සංහිඳ ප්‍රකාශකයෝ විසින් කේ කේ සමන් කුමාරගේ කෘති පහක දොරට වැඩීම කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී. එදිනම කේ කේ සමන් කුමාරගේ කෘති වෙතට කවුලුවක් යන තේමාවෙන් “ ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය “ කෘතිය දොරට වඩින ලදී. සරළව ගත් කළ එදා එය කේ කේ සමන් කුමාරගේ නිර්මාණ ලෝකය දෙස ජ්‍යෝතිෂ ඇසින් බලන ලද්දක් ලෙස ඉතිහාසයට එකතු වන්නට ඇත. ගෝලීය ආර්ථික නව ලිබරල් ක්‍රමයේ සෑම දෙයක්ම නව වෙළඳපල කරනය වීම යටතේ එයද බලය සඳහා හෝ ලාබය සඳහා ජ්‍යෝතිෂය b2වෙළඳපොළකරණය වීමක් ලෙස ඇතැමුන් දේශපාලනිකව සිතන්නට ඇත. තැන් තැන්වල ගතු කියන්නටද ඇත. එසේම ඔවුන්ගේ දේශපාලනයද බලය සහ ලාබය සඳහා ව්‍යාපෘතියක් බව ඔවුන් තමන්ගේ වාසියට විද්‍යාත්මකවම අමතක කරන්නටද ඇත. එකල කලාව සඳහා සාහිත්‍ය සංවාදවලට සහභාගි වන්නන් බොහෝ විට විවිධ පක්ෂ සහ කණ්ඩායම් වල මාක්ස්වාදීන් හෝ රසල්වාදී හේතුවාදීන් වූ බවද සැබෑවකි. මේ අතරින් අතලොස්සක් යම් මට්ටමකින් ස්වාධීන චින්තනයක් ඇත්තෝ වූහ. කෙසේ හෝ සියල්ලෝම පාහේ මිත්‍යාවට එරෙහි පිරිසක් වූහ. එවන් පිරිසක් ඉදිරිපිට ඡ්‍යෝතිශ්ශාස්ත්‍රීය කෝණයකින් විචාරයක් කිරීම අභියෝගයක් වන හෙයින් එයට ඔබ බියවන්නේ් නැතිදැයි බොහෝ දෙනෙක් මගෙන් ප්‍රශ්න කරන ලදී. මා ඔවුන්ට පෙරලා පිළිතුරු දුන්නේ මමද මිත්‍යාවට එරෙහි වන නිසා කිසිදු ආකාරයක චකිතයක් හෝ බියක් මට නොමැති බවයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අනාවැකි අරුතකින්ද විග්‍රහ කළ හැකි දැනුම පද්ධතියකි. ඊයේ දවස යනු අද දවසේ කළල ස්වරූපයි. එසේම හෙට දවසේ කළල ස්වරූපය අද දවසයි. ඊයේ දවසේ සහ හෙට දවසේ සංනිවේදනය ඔ්නාම මොහොතක මේ මොහොතේ සිදු වෙමින් පවතී. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය යනු මෙම සන්නිවේදනය ඔස්සේ හෙට දවස ගැන අද දවසේ සිට තේරුම් ගැනීමට මිනිසා නිර්මාණය කරගත්  ජීවිත ක්‍රම රාසියක් ඇසුරින් එක් ප්‍රබල ක්‍රමයක් පමණි. ඊයේ දවසේ සහ හෙට දවසේ සන්නිවේදනයේ ප්‍රකාශනය යනු හෙට දවසේ විය හැකි වීමේ සම්භාවිතාවයි. කොටින්ම අනාවැකියක් අවසානයේ යතාවේ සුසර බවක් බවට පත්වන වග පෙනේ. මන්ද අවිඥානය පවතින්නේ අනාගතයේ බැවිනි. මේ සම්බන්ධව අපෝහක භෞතිකවාදී  නිරීක්ෂණ තත්ත්වයන් හෝ යාන්ත්‍රික භෞතිකවාදය දේශපාලනයක් සේ දැකීමේ ප්‍රබලකම සහ දිළිඳු ක්‍රම සම්බන්ධව විස්තර කිරීම පසක තබා සරලව ගත් කළ නූතන විචාරයට ලේඛකයාගේ පුද්ගලික තත්වයන් ඔස්සේ ඉතා සංකීර්ණව ඔහුගේ පුද්ගලික මානසික තත්ත්වයට බලපෑ මව්පියන් සම්බන්ධව පවා සොයා බැලීම මේ නිමේශයේ අනිවාර්යක් වී තිබේ. ජ්‍යොතිශ්සාස්ත්‍රයේ එක් අඩලයකින්  මිනිසා බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආශාවන් ඉටුවන දිනය කවදාදැයි දැන ගැනීම පමණි. මෙය පශ්චාත් නූතන මිනිසාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වීමෙන් දිනෙන් දින බිහිවන අරුමෝසම් ජ්‍යෝතිෂ්‍ ඇප් තාක්ෂණයේ වෙළඳ සංස්කෘතිය අනාගත පරපුරේ ආශාවේ බලාපොරොත්තුවේ විලාසිතාව බවට අද පත්වී හමාරය. අපරදිග ජ්‍යෝතිෂය වන සායන ක්‍රමවේදය සහ පෙරදිග නිරයන ජ්‍යෝතිෂ ක්‍රමය අතර තිබි ගණිතමය මත ගැටුම් පවා කළමණාකරණය කරමින් පරිවර්තන ඇප් තාක්ෂණික පරිගණක ක්‍රම පෝන් තාක්ෂණයේද ප්‍රධාන තැනක් හිමි කරගෙන තිබේ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ අනෙක් අඩලය මිනිසාගේ පැවැත්වේ සුසර බවය. ඒ අර්ධය දාර්ශනිකය. එක් පසකින් දාර්ශනිකයන් විසින් අත්හල යුතු එහෙත් අත්හල නොහැකි අර්ධයකි. එය මිනිසාගේ පුද්ගලික මනෝභාවයන් කොටස් කර විග්‍රහ කර ගැනීමට පහසුම මාර්ගයක් වී තිබේ. ඇතැම් අවස්ථාවල නූතන මනෝ විද්‍යාවේ ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ ක්‍රියාකාරිත්වයම පරාරෝපන අරුතකින් මතු වන තත්ත්වයක්ද මේ තුළ තිබේ. මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන මා 2000 දී කේ කේ සමන් පිළිබඳ කළ විග්‍රහය අවසාන කළ විගසම නැගී සිටියේ 60 දශකයේ ප්‍රවීන රැඩිකල් වාමාංශික ලේඛකයෙක් වූ ටෙනිසන් පෙරේරාය. එකල පැරණි වාමංශිකයෙකු වූ ඔහු මෙවන් මිත්‍යා මත පළ කිරීම වහාම නතර කළ යුතු බව පැවසුවේය. අවසානයේ මෙවන් මිත්‍යා විශ්වාසයන්ට නොරැවටෙන ලෙස කේ කේ සමන් කුමාරගෙන් වගකීමකින් යුතුව ඉල්ලා සිටියේය. ඒත් සමගම එවකට තරුණ ලේඛකයෙකු වූ මොහාන් රාජ් මඩවල නැගී සිට ඇතැම් රටවල නිර්මාණ විචාරයේදී ලේකකයාගේ ජාන පරීක්ෂණ පවා ප්‍රයෝජනයට ගන්නා තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙන බැවින් ජ්‍යෝතිෂය වන් විෂයයක් විචාරයට උපයෝගි කර ගැනීම වරදක් සේ දැකිය නොහැකි බව පැවසුවේය. ඒ හැර ගෙවී ගිය අවුරුදු දහ අටකට නොඅඩු කාලය තුළ කිසිදු සංවාදයකට මේ සම්බන්ධව වචනයක් හෝ ලියන්නට කියන්නට මට සිදු නොවූ බවද සටහන් කළ යුතුය. 2013 වන විට ඔ්ෂෝ විසින් හැදෑරීමකින් ප්‍රකාශ කරන ලද  ‌ජ්‍යෝතිෂය සම්බන්ධ ඇතැම් වටිනා පොත්පත් සහ ලිපි  සිංහලයට පරිවර්තනය වූ අතර ඒවා සම්බන්ධවද ඇතිවූ නිහඬත්වයද 2000  නිහඬත්වයේ දිගුවක් නොව 80 දශකයේ උච්චාස්ථථානයට පත්වූ සංවාද අවකාශයේ ප්‍රතිවිරෝධයම බව සැබෑවකි.  කොටින්ම සියලු සංවාද මාධ්‍ය වෙළඳ සංදර්ශන බවට පත්වී විනෝද සමයන් වූ විට බුද්ධිමය සංවාද ගැන කුමන දෙයක් හෝ බලාපොරොත්තු විය නොහැක. ජ්‍යාතන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පවා මිතුරන්ගේ ග්‍රන්ථ සඳහා සංවාද කවවල ජනතාව අහිමි සමාජ සංවිධානවල කතිකයන් දර්ශනය උඩ දමන්නට ගත් කළ තවත් පිරිසක් කුකුල් මස් අවසානයි- අලුත් තොගය නව කවරයකින් ආවා වැනි අළුත්ම පොත් විකිණීීමේ වෙළඳ  දැන්වීම් කලාවක්  ඊ පවුරේ දිග හරහක් නැතිව හුවමාරු කරවන්නට විය. අද හෙටම විප්ලවයක් ඇති වෙන බව හඟවන සංඥා දෙස අවධි සිහියෙන් බලන විට පෙනී ගියේ 80 දශකය 2000න් පසු එහි කොපියක් සයිබර් තාක්ෂණික මෙමරි ජාලයේ කෙටෙන්නට පටන් ගෙන ඇති බවයි. පොත් පරිහරණය කරන්නන් සම්බන්ධව යම් වැදගත් යයි කියන බලයක් ඉතිරිව තිබුණේ නම් ඒ අර්ථය අශ්ශීල කානිවල් අර්ථයකට  2018 සාහිත්‍ය මාසයේදී මාරු වී ගිය බව පෙනේ.

              ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය දෙවැනි මුද්‍රණයෙන් අදහස් වන තවත් ප්‍රධාන කාරණයක් තිබේ. ඒ බුද්ධ ධර්මය මෙන්ම ‌ජ්‍යෝතිශ්ශාස්ත්‍රයද නව ලිබරල් වෙළඳ වපසරියේ අභියෝගාත්මක සංඥාවන් බවට පත් වී ඇති බවයි. ඉන් අදහස් වන්නේ ඒවායේ ප්‍රගතිශීලී අඩලය පරාජය කරමින් ප්‍රතිගාමී අර්ධය මතුපිට බලය තහවුරු කරගන්නා බවයි. කෙසේ නමුත් ග්‍රහ තාරකා ඉඟි මගින් දැකිය හැකි තවත් කරුණක් මට සැබෑ මතක ඇසුරින්ද රහසක් කියනවා සේය. කේ කේ සමන් ඇතුලු තවත් කීප දෙනෙකුගේම එකල බලාපොරොත්තු වූයේ දෘෂ්‍ය කලාවන්ගේ ක්‍රියාකාරිත්වයට ආසක්ත වීමටය. නාට්‍ය සහ චි‍ත්‍රපට කිරීමේ ආශාවෙන් පෙළුන මෙම තරුණයන් වඩාත්ම ආශාවෙන් හිටියේ සිනමා කර්මාන්තයේ නිර්මාණකරනයේ නියැලීමට වීම මිය ගිය සත්‍යයකි. එහෙත් ඒ කාලයේ පැවතී දේශපාලනික භීෂණය සහ දරිද්‍රතාවය හේතුකොටගෙන මොවුන්ගේ හැදෑරීම් වල්මත් වූ අතර සිනමා කර්මාන්තයට නිර්මාණකරුවෝ පිරිසක් පැරිෂුට් මගින් කොළඹ කේන්ද්‍ර කොට ගොඩ බට බව ඉතිහාසයේ සටහන් වී තිබේ. එදා නිර්මිත දේශපාලන මොහොත වනාහී දේශපාලනය විසින් පුද්ගලයන් පමණක් නොව පුද්ගලික මනෝභාවයන්ද විසුරුවා දමන ලද මොහොතක් විය. එහෙත් කේ කේ සමන් කුමාරට හෙවත් සර්පයාට සිනමාව අහිමි වුවත් කලාවෙන් සමුගැනීම වනාහී සිය මරණය මෙන් පෙනෙන්නට විය. මරණයෙන් පරාජය වීමට ඔහු කිසිසේත්ම සූදානම් වූයේ නැත. ඔහු ඔහුට අහිමි වූ සිනමාව පසක තබා සාහිත්‍යය කලාවට බැස්සේය. අඳෝමැයි නව කතාවකටත්, කෙටි කතාවකටත් විචාරයකටත් මොක ලීවත් ඔහු අතින් ලියවෙන්නේ තිර රචනාම විය. මාක්ස්වාදයද, පශ්චාත් නූතනවාදයද, සිහින කල්පිත සාහිත්‍යයද, අතෝරක් නැති පිටස්තරයෙකුගේ අත්දැකීම් ඇසුරින් ඔහුගේ නිර්මාණය  සිනමාත්මක ආවේශයක් බවට පත් වන්නට විය. මියගිය සිනමාකරුවාගේ අවතාරය ඔහුගේ සෑම නිර්මාණයක් තුළම හොල්මන් කරනු පෙනේ. ඔහුගේ නිර්මා වනාහී ‌ප්‍රොජෙක්ටරයක් සහ ශාලාවක් නැති සිනමාවක් වන්නේ එබැවිනි. ඔහුගේ ගමන් මග ගන්නා සමහර දුහුනන් අතරමංවූ සංධිස්ථානයද මේ ලක්ෂ්‍යයටම සමගාමී බව පෙනේ.    
                ඔ්ෂෝගේ කෘති බොහෝමයක් පරිවර්තනය කළ ජෝ සෙනෙවිරත්න මොරටුව මධ්‍යම වෙළඳ පොළේ ටැලන්ට් ප්‍රින්ටර්ස් මේසය මත තිබී මා විසින් ලියන ලද පොත් දෙකක් ඉල්ලාගෙන ගොස් ගල් කළ බව මා මිත්‍ර ටැලන්ට් මට පවසා තිබිණි. “කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව” “ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය” ජෝ සෙනෙවිරත්න අතට පත්වූයේ එසේය. එහි අතුරු ප්‍රතිපලයක් වූවේ ජෝගේ ජීවිතයේ අවසාන භාගයේ ඇතැම් රාත්‍රීන් මගේ මධුලෝලත්වයේ බයිට් එක බවට දුරකථනය මගින් පත්වීමය. ඒවා අති සුන්දර බුද්ධිමය සාකච්ඡා සේ මගේ මතක ලෝකයේ ලැගුම් ගෙන තිබේ. පරම විඥාර්ත ව්‍යාපාරය සහ ඇනී බෙසන්ට්, ක්‍රිෂ්ණ මූර්ති වෙනුවෙන්ම නිර්මාණය කළ නැගෙනහිර තරුව සංවිධාන විනාශවීමට ක්‍රිෂ්ණ මූර්ති ගේ කේන්දරය බලපෑ අන්දම ඔ්ෂෝ දුටු ආකාරය ජෝ විසින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. ඔ්නෑම සංවිධානයක් තුළ ඉතා විනාශකාරී බලයක් බවට  ක්‍රිෂ්ණ මූර්ති පත්වෙන වගට ඔෂෝ මතු කර තිබි කතාන්දරය පිළිබඳ ජෝ සෙනෙවිරත්නයන් සමග කළ සාකච්ඡාව මම රෝහන විජේවීරගෙන් අවසන් කළෙමි. රෝහන විජේවීරගේ ජන්ම පත්‍රය ගැන බැලූ විට වමේ සමගිය විජේවීරගේ යුගයේ කිසිසේත්ම  සිදු නොවන බව පැවසීමට දේශපාලන අටුවා අවශ්‍ය නොවන වග මම ජෝට කීවෙමි. ඒ කතාව මා කේ කේ සමන්ගේ පසුවදනට සම්බන්ධ කරන ලද්දේ ඇයි දැයි ඔබට ප්‍රහේලිකාවක් වන්නට පුළුවන. සමාජ සංවිධානයක් සමග කටයුතු කිරීමට අපහසු සර්පයාට ආදරය සම්බන්ධ ගණුදෙනු විනා පවුල් හෝ හවුල් ගැන කතා කිරීමෙන් කිසිදු පලක් නොවනු ඇත. එහෙත් අද සමන් විසින් නිතර දොඩමලු වන ප්‍රඥාමාර්ගික සාහිත්‍යය කතිකාව යම් දිනයක ඔහු ආදරයෙන් හුදකලා බවට පත් වුවහොත් කේ කේ සමන්ගේ ගමන් මග තමන්ගේ විරෝධාකල්පයක් වූ ‌‌ථේරවාදයෙන් අවසාන විමට ඉඩ ඇති බවද ලියා තැබිය යුතුය. යම් මතයකට විරෝධය පෑමෙන් පමණක් එම මතයෙන් වෙන්වීමක් නිවේදනය නොකෙරේ. කෙසේ හෝ සමන්ගේ සර්ධා මාර්ගික සහ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය ගැටුම නව ලිබරල් වෙළඳ සංඥා ප්‍රකාශනවලට මරේ මරුය. ඔහුගේ සාහිත්‍ය ශානරයට ආදරය කරන පරපුරක් යම් තරමකින් ගොඩ නගා ගැනීමටද ඔහු සමත් වී තිබේ. සුදු අලින් සේ නඩත්තු කරගෙන යන මහා පොත් ප්‍රකාශකයන් සමග කේ කේ සමන් විසින් සිදු කරනු ලබන ගණුදෙනුවේ දෙකොන සොයා ගැනීමට සාම්ප්‍රදායික යථාර්වාථාදී විචාරකයන්ටකිසිදා නොහැකි වනු ඇත.

ජගත් මාරසිංහ

(ඉතිහාසයේ සාක්කිකාරයෝ)

2019 03 17

k k

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s