අහඹුව අනිවා……

අහඹුව අනිවා.. (80 පිටුපස මතක)

IMG_20151102_0002

ජගත් මාරසිංහ

      80 දශකයේ අග භාගය අාරම්භයේ මැගසින් බන්ධනාගාරයේ සිරගත රැඳවියෙකු වූ මා 80දශකය අවසාන වනවිට අහම්බෙන් නිදහස් වන විට හය වසරක පෙම්වතිය මා අත හැර ගියේ අහඹුවකින් නොවන වග මම දනිමි. අහඹුව අනිවාර්ය වීමේ නියමය පිළිබඳ අද වන විට මා දැරූ අදහස අපගමනයන්ට ලක් වී අැති නමුත් එදා ඒ තත්ත්වයන්ට මුහුණ දෙනවිට එවන් නියමයන් පුද්ගලික කැරලි සඳහාද මනා පිටුවහලක් විය. භීෂණය මැද එක් තරුණියක් මා දමා යන කල තවත් තරුණියක් මට අහම්බෙන් සමීප වූයේ අහඹුව අනිවාර්ය වීම තවදුරටත් මට සොයා බලන ලෙස ස්වභාවයා බලකර සිටියා සේය. භීෂණයෙන් ගැලවෙන්නට නම් හැංගි මුත්තන් කළ යුත්තේ ශරීරයෙන් නොව දේශපාලනයෙන් වග වටහා ගත් මා කිසිදා නොසිතූ ලෙස මගුලක් කා විවාහ වීමට තීරණයක් ගත්තේද අහම්බෙනි. මගුල සඳහා මගේ කොදේසි ඉතා සරල විය. මා ජාතික ඇදුම හෝ ටයි කෝට් නොඅදින බවත් කලිසම සහ කමිසය යන සාමාන්‍යය ඇදුම මට ප්‍රමාණවත් බව ඇයට පැවසුවෙමි. ඇයට ඕනෑම දෙයක් කිරීමට බලපෑම් නොකිරීම මගේ සිරිතද විය. එකල මගේ බොහෝ මිත්‍රයන් මා ඇසුරු කරන්නට බිය වූ නමුත් කේ. කේ සමන්කුමාර හෙවත් ආදර සර්පයා පොත් මල්ලකුත් උස්සාගෙන නිතර මා හමුවෙන්නට එන්නේ ඉහින් කනින් දාදිය පෙරා ගෙන කටින් හුස්ම ගනිමින් බවද සටහන් කළ යුතුය. එදා අාරක්ෂක අංශ වලට පොත් මල්ලක් සහ බෝම්භයක් අතර එතරම් වෙනසක් නොවීය. භීෂණයේ එක් පිරිසක් අප ත්‍රස්තවාදීන් ලෙස සලකා සොයා බලන කල අනෙක් පිරිස අප ආණ්ඩුවේ ඔත්තු කාරයන් ලෙස සලකා සොයා බලන්නට විය. කෙසේ හෝ 89 භීෂණය මැද මම මගුල් කෑවෙමි. ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරණ දෙගොලෝම මීට සහභාගි විය. මිත්‍රයන් දෙගොල්ලම මාක්ස් වාදීන් නමුත් බෙදුම් රේකාව හරියටම දර්ශනය වන්නට පටන් ගත්තේ මධු පානෝත්සවය පටන් ගත් විටය. එක් පිරිසක් අමධ්‍යප මාක්ස් වාදීන් වූ අතර අනෙක් පිරිස තම තම නැන පමන මධු විත පානය කෙළා්ය. මනමාලයාද මධුටලෝලී පිරිසට අයත් විය. එදා එතන සිටි පිරිසෙන් බොහෝ දෙනෙක් අද ජනප්‍රිය චරිත බවට පත්වී සිටී. තවත් අයෙක් අතුරුදහන් විය. සමහරු ගැන කිසිම තොරතුරක් නැත. හදිසියේම අහම්බෙන් විදුලිය විසංදි විය. අහඹුව අනිවාර්යක් බව මෙනෙහි කරමින් සිටි මනමාලයා වහලෙ උඩ සිට බිමට බැස්සේ විදුලිය සංදි වූ පසුවය. මගුල් කතා අාරම්භ විය. මෙවන් නිමේෂයක මගුල් ගැනීම මනමාලයාගේ දර්ශනයේ දිලිඳු කමක් බවත් මේ මොහොත විප්ලවීය මොහොතක් බවත් සාධනය කරමින් අමධ්‍යප මාක්ස් වාදියෝ සංවාදයක් ආරම්භ කෙළා්ය. ඉක්බිති ක්ෂණයෙන් සර්පයා ආවේශ වී නැගී සිටියේය. මනමාල මාරයා කවුද යන්න තීරණය කිරීම අනාගතයේ ජනතාව විසින් කරණු ලබන බවත්, එක එක කල්ලි කණ්ඩායම් වල මතවාද විකාරයක් බවත්, සර්පයා තදින් තහවුරු කළ පසු මගුල් සභාව උණුසුම් විය. මාමන්ඩිය මට කතාකර මේ තත්ත්වය වැඩිදුර යන බවත් තව මොහොතකින් ආරක්ෂක අංශ මෙතනට කඩා පැනීමට ඉඩ ඇති බවත් පැවසීය. මරණයටවත් බය නැති එ් පිරිස මට නිහඩ කළ නොහැකි බව මම කීවෙමි. ඉක්බිති මේ සම්බන්ධව තමන් දරන මතය මනමාලයා විසින් ප්‍රකාශ කළ යුතු බව අමධ්‍යප මාක්ස් වාදියෝ මට අන කර සිටියහ. මා විසින් කතා කළ යුතු දේ පුරාණ කවියක ඇති බැවින් මම ඒ කවිය කියා නිහඩ උනෙමි.

වනේ ගිජිදාය දුටුවොත් වනසාය
ලිදේ පජිදාය වැටුනොත් උෟ කාය
අතකින් කරවැලකි අතකින් දඩු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

      කවිය අවසානයේ මනමාලිය වී සිටි සව්මියට මම තොත්තුවක් දුනිමි. ජයලාල් රෝහන මේ මොහොතේ බඩ අල්ලන් සිනාසෙන අයුරු මට තාමත් මැවී පෙනේ. අත්පොලසන් හඩ සමග සංවාදය හමාර විය. පසු කාලයේ භීෂණය තව තවත් උනුසුම් විය. මම තනි කමට තැබෑරුම තෝරාගත්තෙමි. ඒ දිනවල මට තිබි එකම බුදිධිමය සමාජ සම්බන්දය සර්පයා පමණක්ම වී. මට සව්මිය විසින් අරගෙන දුන් පුට් බයිසිකලය සහ කැමරාව සමග පොර බදිමින් එලිය සහ අඳුර හදාරමින් ප්‍රදර්ශනයක් කිරීමට සිතා ඡයාරූප ශිල්පීය ලෝකයක අතරමං වී. ප්‍රදර්ශන කෙසේවෙතත් මධුලෝලත්වය නිසා රෝගී වූ මා කාලයක් මහ පාරේ ජීවිතයට සේන්දු වූවා සේය. අහම්භය සහ අනිවාර්ය සාධනය කරමින් එදා ගත් ඡායාරූප විශාල ප්‍රමාණයක් කාවන් සහ මීයන්ට දානයක් වූවා සේය. අද පරණ ලිපි ලේඛන අවුස්සන උපේකා දූ සහ ගුරු පුතු ඒවා තෝරමින් සංරක්ෂණය කරන්නට මට බල කරයි. මෙහි පලවන ඡායාරූප දෙක ඔස්සේ මතුවූ මතකය මම බ්ලොග් එකට ලියන්නට ගත්තේද අහම්බෙන් බව සටහන් කරමි. එකල ඇදිරි වැටෙන්නට ආසන්න වේලාවේ නිවසට එන මගෙන් සව්මිය හැම දිනකම එකම ප්‍රශ්නයක් අසයි. ‘ඇයි මෙච්චර පරක්කු උනේ ‘යන ඒ පැනය සයිකලයෙන් බසිද්දී ඇසීම ඇය පුරුද්දක් කරගෙන සිටියාය. එලිය අදුර හෙවනැලි සොයමින් සිටි ඒ කාලයේ හිර බැස ගොස් ඇති තරම පෙන්වන සයිකලයේ සෙවනැල්ල සහ බිරිදකගේ ප්‍රශ්නය අතර සම්බන්දයක් ගොඩ නැගිමට ගත් වෙහෙස මතකයට නගා ගන්නට මේ සේයාව අහම්බෙන් ඉතිරි වී තිබිණ.
ඒ අදුරු කාලයේ මොරටුවට නුදුරු පරත්තට විදුලිය නොතිබිණි. බොහෝ දෙනෙකුට නොතේරෙන දේශපාලනයක් සොයමින් ,කලුවර කාඹර අටවාගෙන, පරණ ප්‍රොජෙක්ටරයකින් එන්ලාජරයක් සාදාගෙන, කට ගොන්නක් බීගෙන, භීෂණ කාලයක කාර් බැටරියෙන් කලු සුදු ඡායාරූප මතුකර ගැනීමට දිවා රාත්‍රී වෙහෙසෙන මා සමග ජීවත් වූ අලුත බැදපු ගැහැනියක් වූ ඇය දිනක රත්‍රියේ හැගීම් බර ඉරියව්වකින් මගුල් පින්තූරය දෙස බලා සිටිනවා මම දුටුවෙමි. අැගේ ඒ ගින්දර නිවා දමන්නට කිසිදු ක්‍රමයක් එදා මා සතුව නොතිබණා සේය. නැතිනම් එවන් ක්‍රමයක් මා නොදැන සිටින්නට ඇත. ඒ එලිය සහ අදුරේ දේශපාලනය මට එදාද ඉතා හොදින් වැටහිනි. මම ඇයට එලෙසම ඉන්නට පවසා ඡායාරූපයක් ගතිමි. එය ගින්දර ලෙස නම් කෙළමි. මේවා සංස්කරනය නොකරන හේතුව පමණක් මම දරුවන්ට වටහා දුන්නෙමි. එදා මා කලු-සුදු සොයා ගියේ වර්ණ උෂ්ණත්වය පිළිඹද වැටහීමක් නැති නිසා නොවන වගද සටහන් කර තබමි. මූලු අසූව දශකය පුරාම අහඹුව මට යෝදයෙකු මෙන් කරදර කල බව සැබෑවකි. ඒ මට පමණක් නොවේ. එහෙත් එදා මා අහඹුව සහ අනිවාර්ය නියමය පිලිගත් බැවින් හිත හදා ගැනීමට පමණක් එය මනා පිටුවහලක් විය. අද වන විට එවන් නියම ජීවිතය දැකීමට තරම් නොවන බව මට වැටහි තිබේ. ඒ ජාතික වාදී මානසිකත්වයෙන් නොවන බවද සටහන් කළ කළ යුතුය.IMG_20151102_0001uu

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s